Monday, May 4, 2009

බ්ලොග් යනු කුමක්ද?

න්තර්ජාලයේ වෙබ් අඩවියක් සැකසීම හැමදෙනාටම පහසු කටයුත්තක් නොවෙයි.ඒ සඳහා මිලට ගත් ඩොමේන් නාමයක් සහ වෙබ් අඩවිය රැඳවීමට මිලට ගත් හොස්ටින් අවකාශයක් මූලිකව අවශ්‍ය වන අතර මීට අමතරව වෙබ් අඩවි නිර්මාණය කරන පරිගණක භාෂා ඥානය හා ග්‍රැෆික් කටයුතු වල නිපුණතාවද තිබිය යුතුය.මේ නිසා කාලයක් තිස්සේ අන්තර්ජාලයේ සැරිසරන බොහෝ දෙනෙකු අන්‍යයන්ගේ අදහස් හා මතවාද රැගත් වෙබ් අඩවිවලට පිවිසීම කළ අතර තමන්ගේ අදහස් පළකිරීමේ අවශ්‍යතාව තිබුණත් එයට තිබුණ ඉඩ ප්‍රස්ථා අවම විය.
ඉහත ගැටලූවට කදිම විසඳුමක් මෙම බ්ලොග් මගින් සැපයෙයි.බ්ලොග් යනු කල් ඇතිව සැකසූ වෙබ් අඩවි රාමුවකි.තමන්ගේ නමට ඊමේල ලිපිනයක් සකසන ආකාරයට තමන්ගේ නමට බ්ලොග් අඩවියක් නොමිලයේ ලියාපදිංචි කරගන්නට හැකිය. පසුව කළ යුත්තේ, පූර්වයෙන් සැකසූ රාමුවට අපට එක්කිරීමට අවශ්‍ය තොරතුරු එක්කිරීමයි.වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව මෙම කටයුත්ත කළ හැකිය.එසේ එක්කරන තොරතුරු බ්ලොග් වෙබ් අඩවියක් ලෙස අන්තර්ජාලයේ එළිදැක්වීමට හැකියාව ලැබේ.
මේ වන විට අන්තර්ජාලයේ දහස් ගණනින් මෙසේ සැකසූ බ්ලොග් වෙබ් අඩවි පවතී.ප්‍රධාන වශයෙන් බ්ලොගර් හා වර්ඩ් ප්‍රෙස් යන නාමයන් යටතේ වන නොමිල බ්ලොග් සේවාවන් ජනප්‍රිය වී තිබේ.
වෙබ් අඩවියක පැවතිය හැකි විවිධ විශේෂාංග අතුරින් කාහටත් පොදුවේ වැදගත් වන විශේෂාංග රාශියක්ම මෙම නොමිල බ්ලොග් සේවාවන් තුළ පවතී.ඒ අතර
ලිපි ඕනෑම භාෂාවකින් පළ කිරීමේ හැකියාව
ඡායාරූප-සංගීත-වීඩියෝ ආදී විවිධාංග එක්කිරීමේ හැකියාව
නරඹන්නන්ට අදහස් එක්කිරීමේ හැකියාව
අපගේ තොරතුරු ඉබේම දින අනුව ගොනුවීම
එක් එක් උප ප්‍රවර්ග යටතේ මාතෘකා ගොනුවීම
යොමු ලැයිස්තු එක්කිරීමේ හැකියාව
පවතී.තමන්ගේම දිනපොතක් පරිද්දෙන් මෙම බ්ලොග් පවත්වා යා හැකි අතර අවශ්‍ය නම් ඊමේලයක් තුළ තොරතුරු සටහන් කොට එම බ්ලොග් අඩවියට යවන ඊමේලයකින් එම තොරතුරු යාවත් කාල කිරීමටද හැකිය.

බ්ලොග් වලින් ඇති ප්‍රයෝජන කවරේද?

තමන්ගේම බ්ලොග් අඩවියක් පවතින කෙනෙකුට තමන්ගේ අධ්‍යයන කටයුත්තක් ගැන අන් අය දැනුවත්කිරීමට පහසුය. කිසියම් අදහසකට අන් අය දක්වන ප්‍රතිචාර පිළිබඳ දැනුවත් වීමටද පුළුවන. ඡායාරූප-වීඩියෝ ආදිය ඛෙදා හදාගැනීමට හැකිය.
එකම බ්ලොග් අඩවිය කිහිපදෙනෙකුගේ සංස්කරණයට යටත්කිරීමටද හැකි වන අතර එවැනි බ්ලොග් අඩවියක් පිහිටවනු ලැබූ පසු අන්තර්ජාල පොදු සාකච්ඡාවක් වඩා පුළුල් ලෙස පවත්වා යාමටද පුළුවන.

බ්ලොග් නිර්මාණය පිළිබඳ වැඩිදුර ‍කරුණු ඉදිරි ලිපි වලින්....